Monday

ජනශ්‍රැතිය තුළින් මතු වන අපේකම

                                         ජනශ්‍රැතිය තරම්  මානවයාගේ හර්ද  ස්පන්දනට සමීප වූ වෙනත් මාධ්‍යක් නොමැති තරම්ය .මිනිසාගේ සන්නිවේදන ශක්‍යතාවය ආරම්භ වූ දා ජනශ්‍රැතිය එතරම්ම අවියෝජනීය වූවකි.මෙහිදී ජන යනු සමූහය යන්න බව සදහන් කල හැකිය ."ජන " යන්න නිර්මාණය වී ඇති කුඩාම ඒකකය වන්නේ පුද්ගලයාය.එම පුද්ගලයා තුළ නිදහස් චිත්ත ශක්තියක් මගින් ගොඩනැගුණු නිර්මාණශීලිත්වයක් පවතියි .ඔවුන් එකිනෙකට සමාන වන්නේ නිශ්චිත භූගෝලීය සීමාවක ජීවත් වීම ,එක් සංස්කෘතියක් තුළ රාමුගත වීම ,ආගමික හා විශ්වාසයන් බොහෝ දුරට සමාන වීම ,සමාන භාෂාවක් භාවිතා කිරීම යන සාධකයන් මත පමණි ."ශ්‍රැතිය" යනු රිද්මයයි .මේ අනුව එය "ජන රිද්මය" ලෙසින් අර්ථ ගැන්විය හැකිය .මෙම ජන රිද්මය එය අයත්වන ජන සමූහය ශිෂ්ටාචාර ගත වීමේ ශක්‍යතාවය ඉතා සියුම් හා වඩා තීව්‍ර ලෙස නිරූපණය කරන්නකි.
                   ඒ අනුව මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ජනශ්‍රැතිය අර්ථ ගැන්වූයේ , ජනශ්‍රැතිය යනු ප්‍රාථමික හෝ සංකීර්ණ බවට පත් නූතන හෝ ජන සමූහයක් අතර කාලයක් තිස්සේ මුඛ  පරම්පරාගත සම්ප්‍රදායෙන් ව්‍යාප්ත වූ
ඣාන සම්භාරයය්.එය ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් දෙකෙන්ම නිර්මාණය වී පරම්පරවෙන් පරම්පරවට පැවත යනු දැක ගන්නට පුලුවන් ලෙසිනි.
                     මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් සන්නිවේදනය ආරම්භ වූ අතර ජනශ්‍රැතියට ඒ සා ඉතිහාසයක් හිමි වේ.ප්‍රාථමික මානවයා ඉතා සරල දිවි පෙවෙතක් ගත කල ඇත්තෝ වෙති .ඔවුන් ජීවත් වූ සමාජය ,වටපිටාව පිලිබද බරපතළ චින්තනයක් නොවීය .දඩයම මූලික විය.ඉර හද තාරකා  ජලය ආදී ස්වභාවික ධර්මය මූලික විය.විශාල ගස් දුටු විට වැදීමට සිතීය. ඉර හද තාරකා අත්භූත වස්තු ලෙස දුටු අතර ජලයට ගින්නට විශාල බලයක් ඇති බව සිතීය .කදු ගල් ආදිය බලවත් වස්තු ලෙස දැක ඒ හරහා එම ස්වභාවික දේ වන්දනාමාන කිරීමට යොමු වීය.දඩයමේ ගිය පිරිසට ආශිර්වාද කිරීමට ගීත ගායනා කරනු ලැබීය .ගැහැණු පිරිස තම දරුවන් නැලවීමට ගීත ගායනා කරනු ලැබීය .එසේම දඩයමෙන් ගෙන ආ මස්,මැස්සක් උඩ තබා පිලිස්සූ අතර පිරිම පිරිස ඒ වටා නැටූහ.ඒ අනුව සුන්දර සන්නිවේදන රටාවක් ජනශ්‍රැතිය වටා ඒකරාශී විය.ජනශ්‍රැතිය තුලින් ගැමි ජනයාගේ අව්‍යාජත්වය ,අනුවේදනීයත්වය ද පිලිබිඹු විය.
          වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කර ගත් සරල කෘෂිකාර්මික සමාජයක් එකල දක්නට ලැබුණි.වර්තමානයේ දී  මෙම ලක්ෂණ දැක ගත හැකිය .ඒ අනුව ජනශ්‍රැති අංගෝපාංග යොදා ගනිමින් ගැමියාගේ දුක් කම්කටොලු ගැමි දිවි පෙවෙත සංකේතාර්තවත්ව පල කර ඇත.පොදු ජනයා අතර පරම්පරාවෙන් පරම්පරාවට කාලාන්තරයක් මුලුල්ලෙහි නිර්මාණය වී අලිඛිතව ජනශ්‍රැතිය පැවතී ගෙන එය්.ඒ අනුව ජනශ්‍රැති අංගෝපාංග ලෙස ජන කවි,ජන කතා,ජන ගී,තේරවිලි, ජන ක්‍රීඩා ,ඇදහිලි,ශාන්තිකර්ම,යාතුකර්ම ආදී මෙකී නොකී දෑය .මේවා ඕපපාතිකව පහළ වූවක් නොව මානව අවශ්‍යතා පදනම් කර ගෙන මානව චර්‍යාවන් හා ගැටෙමින් වැඩුණු බව සැලකිය යුතුය .
                                  කෘෂිකර්මාන්තය පදනම් කර ගත් අපේ ලාංකීය සංස්කෘතිය පිලිබද මෙම ජනශ්‍රැති අංගෝපාංග තුළින් පිළිඹිබු වේ.එනම් ඔවුන් එම කර්මාන්තයේ නියැලී සිටි අතරතුර පාලුව,කාංසිය,වෙහෙස මහන්සිය නිවා ගැනීමට කමතේ දී ජන කවි ගායනා කලේය.කුඹුරේ දී ජන කවි ගායනා කලේය .ඒ අනුව ජන කවි තුළින් කෘෂිකර්මාන්තය ජීවනෝපාය කර ගත් ගැමි ජනයාගේ සරල ගැමි පෙවෙතත් ඔවුන්ගේ දරිද්‍රතාව හා දුක් කම්කටොලු පිලිබඳවත් හදුනා ගත හැකිය .
                                        තවද ජකතා තුළින් ලාංකික සමාජයට උපදේශනයන් ලබා දේ.ශාන්තිකර්ම හරහා ලාංකීය සංස්කෘතිට ආවේනික වූ සංස්කෘතික ලක්ෂණ දැකගත හැකිය .ජන කෙලි තුළින් ද මතු වනුයේ අපේ සංස්කෘතියට අනන්‍යය වූ ලක්ෂණ වේ.ඒ අනුව ජනශ්‍රැතිය අධ්‍යනය කිරීම තුළින් අපගේ සංස්කෘතියට අනන්‍යය වූ ලක්ෂණ හදුනා ගත හැකිය .එනම් එය අපේ කමේ ප්‍රතිමූර්තියය්.

Tuesday

රුපවාහිනිය හා ළමා මනස.

පුංචි ළමයි මල් වගේ යැයි කියමනක්  පවතී.ළමයින් කුඩා කාලයේදී බොහෝ දෑ ඉගෙන ගනී.ඔවුන් පරිසරයෙන් උකහාගන්නා දෑ ඇසුරු කර ගනිමින් කෙමෙන් කෙමෙන් වැඩෙයි.කුඩා කල ලැබෙන අත්දැකීම් පදනම් කර ගනිමින් කුඩා දරුවා තම මනස සකස් කර ගනී.
                                    ළමා  මනස රූපවාහිනියට ඉතා රුචියක් දක්වයි.මන්ද  එය ශ්‍රව්‍ය වූත් දෘශ්‍ය වූත් ආකර්ෂණීය වූත්  මාධ්‍යක් වන බැවිනි.රූපවාහිනිය තුළින් ද දරුවා නොයෙකුත් දෑ ඉගෙන ගනී.රූපවාහිනිය යම් නිශ්චිත වූත් ඉලක්ක ගත වූත් ග්‍රාහක පිරිසකට ආමන්ත්‍රණය නොකරයි .රූපවාහිනියෙන් ග්‍රාහක ක්ෂෙත්‍රය ලොකු කුඩා සැමට පොදු ලෙස සංදේශ ඉදිරිපත් කරයි .කුඩා දරුවාගේ මනසට කා වදින ප්‍රශස්ත ගණයේ වැඩසටහන් ඉදිරිපත් කිරීම තුළ ළමයාගේ මනස නිසි අයුරින් වර්ධනය වී එය දරුවා ගේ යහපතට බලපායි. නමුත් වර්තමාන රූපවාහිනිය මෙකී වගකීම ඉෂ්ට කරන්නේ ද යන්න ප්‍රශ්නාර්ථයකි.                   
                                          වර්තමානයේ ජනමාධ්‍යයේ අරමුණ වාණිජ පරමාර්ථ  මුදුන්පත් කර ගැනීමයි .මේ නිසා හරවත් වැඩසටහන් විකාශනයෙන් වියුක්ත වී හරසුන් වැඩසටහන් විකාශනය කිරීම සදහා පෙළඹී ඇත .නමුත් මාධ්‍යයේ වගකීම මෙයද ? කුඩා දරුවන් හට රූපවාහිනිය තුළ විකාශනය වන කාටූන් වැඩසටහන් වල පවා අන්තර්ගතය ඉතා කේදනීය ය.අනෙකාට පහර දීම්, අනෙකා පරාජිත කිරීම , ඝාතනය කිරීම් ආදී ප්‍රකෝපකාරී දෑ මේ කාටුන් වැඩසටහන් තුළ අන්තර්ගතය . මේ නිසා ළමා මනස තුල  තැන්පත් වනුයේ එම ප්‍රකෝපකාරී දෑය. ළමා මනස තුළ යහපත් මානව ගුණාංග වැඩීම මේ තුළින් සිදු වන්නේ නොවේ. ඒ අනුව රූපවාහිනිය වැනි ප්‍රබල මාධ්‍යකින් සමාජයට කල හැකි බලපෑම් අමිල ය.
                                  වර්තමාන  රූපවාහිනි වැඩසටහන් ගතහොත් ඉන්දියාවේ කසිකබල් ටෙලි වෘතාන්ත   , චිත්‍රපට ,කිසිදු කලාත්මබාවයක් නොමැති  ටෙලි නාට්‍ය , කාම අපරාධ ,ළමා අපචාර වලින් පිරීගිය ප්‍රවෘත්ති වැනි දේ දැකගත හැකිය.මේවා කිසිවක් ළමා මනසට රුචි දෑ නොවේ.
                                      මීට දශක දෙකකට පෙර මේ මාධ්‍ය තුළින් යම් තාක් තරමක සමාජ මෙහෙවරක් තිබුණි .පාසල් දැනුම මිනුම තරග ,සමාජයට යහපත් බලපෑම් කල හැකි ටෙලි වෘතාන්ත ,කාලීන වාර්තා  වැඩසටහන් ,සුභාවිත ගීතයන්ගෙන් පිරීගිය මන බදින සොදුරු නිමේෂයන් එදා නිවසේ ආලින්දයට රූපවාහිනි මාධ්‍ය රැගෙන  ආවේය. රටක අනාගතය වන්නේ දරු සම්පතයි .ඔවුන් ගේ ළමා මනස කුඩා කලදීම මෙසේ විකෘති කිරීම ජාතියට ජාතියට කරන අපරාධයකි. ගුණ නුවණින් හෙබි දරුවන් බිහි කිරීමට උර දීමට රූපවාහිනියට යම් කිසි වගකීමක් මෙන්ම  යුතුකමක් පවතී.
                              හුදෙක් යහපත් මාධ්‍යක් සතු අරමුණු පසෙක ලා වාණිජ පරමාර්ථයන් මුදුන්පත් කර මුදල් සෙවීමේ තරගයක යෙදී සිටින රූපවාහිනිය පටු අරමුණු ඉවත ලා ඔවුන් සතු සමාජ වගකීම හරියටම ඉටු කිරීමට කාලය එළඹ ඇත .හරවත් වූ මාධ්‍ය වැඩසටහන් ආලින්දයට රැගෙන සියලු දෙනාට එක සේ නැරඹීමට හැකි මාධ්‍යක් බවට රූපවාහිනී මාධ්‍ය පත් කල යුතුය .විශේෂයෙන් මාධ්‍ය සංදේශ නැත්නම් මාධ්‍ය වැඩසටහන් කුඩා දරුවා ගේ මනසට සරිලන පරිදි ඉදිරිපත් කල යුතුය  .
                       රූපවාහිනිය නරඹන පුද්ගලයන් හීන පරිකල්පනයකින් යුක්ත බවත් ,ආවේගකර බවත් ,ආක්‍රමණශීලී බවත් ,සිත සමාධි ගත කර ගැනීම අතින් දුර්වල බවත් ප්‍රකාශිතව ඇත .එයට හේතුව රූපවාහිනිය තුල විකාශනය වන වැඩසටහන් වල අන්තර්ගතය ද විය හැකිය .මෙසේ හොදම දේ තෝරා බේරා ගැනීමට තරම් බුද්ධිමත් මනසකින් හෙබි වැඩිහිටියාට ද රූපවාහිනිය මෙතරම් බලපෑමක් එල්ල කරනවානම් ක්ෂණිකවම පෙළඹවීමට ලක්වන කුඩා දරුවාගේ මනසට එය කෙතරම් බලපානවා ඇතිද ?මන්ද යත් හොද නරක පිලිබද අවබෝධයක් ළමා මනසට නැති බැවිනි .
                       මේ පිලිබද ව වර්තමානයේ වැඩි වශයෙන් අවධානය යොමු වී නොමැති වුවත් යථා කාලයේදී ඒ පිලිබද ව ඉතා පුලුල් ලෙස සොයා බලා කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුය .

Sunday

දරුවන් සුරකිමු පණ මෙන්

ළමා අය්තිවාසිකම් පිලිබඳ ප්‍රග්නප්තියේ සදහන් ආකාරයට වයස අවුරුදු 18 වන තෙක් සියලු මනුෂ්‍යයන් දරුවන් වේ.දරුවන් සුරැකීම දෙමව්පිය වගකීමක් හා යුතුකමක් වුවත් එය පුළුල් වු අර්ථයෙන් ගත් කල මුළු ජාතියේම වගකීමකි.මවු කුස තුලින් ලොව එළිය දකින කුඩා දරුවා පරිසරයේ යම්  දෑ ඇසුරු කරගනිමින් ඉගෙනුම් ක්‍රියාවලියක නිරත වෙයි .ඒ හරහා ඔවුන් යම් යම් දෑ ඉගෙන ගනී. කුඩා දරුවා මේ තුළින් සමාජයට මෙන්ම පරිසරයට අනුගත වීමක් දක්නට ලැබේ. අතීතයේ දරුවන් සෙල්ලම් සදහා පරිසරය ආශ්‍රය කර ගනු ලැබීය.වැලි, ආශ්‍රිත සෙල්ලම් ,ජලය ආශ්‍රිත සෙල්ලම් ආදී දේ ඊට අයත්‍ ය.නමුත් වර්තමාන සමාජයේ දෙමාපියන් කාර්‍ය්බහුල ජීවිතයක් ගත කිරීම හේතුවෙන් දරුවා ද පරිසරය තුළින් වියුක්ත වීමක් දක්නට ලැබේ. දෙමාපියන් තම දරුවන් තාක්ෂණික මෙවලම් හා තාක්ෂණික ක්‍රීඩා වලට හුරු කර අවසන්‍ ය.ඔවුන්ට මේ නිසා පරිසරය මග හැරී ඇත.වර්තමාන දරුවා හුරු වී ඇත්තේ එක් ස්ථානයක සිට කියන කරන ක්‍රියාකාරකම් වලට පමණි.දරුවා පරිගණකය සමග මෙන්ම පරිගණක  ක්‍රීඩා සමග ඒකාත්මික වී ඇත.නමුත්  මේ තුලින් දරුවාට සිදු වනුයේ අසාධාරණයකි.අනාගතයේදී මනා පෞරුෂත්වයකින් හෙබි ඉගෙනීමෙහි දක්ෂ සමාජයේ බාහිර පාර්ශවයන් සමග හොදින් ගණුදෙනු කල හැකි පිරිසක් නිර්මාණය වීමට මෙය ඉඩ අහුරණු ලබයි .මන්ද යත් මේ සියල්ලෙන්ම හෙබි දරුවෙක් නිර්මාණය කල හැක්කේ දරුවා කුඩා අවදියේ දී ලබා ගන්නා අත්දැකීම් තුලිනි.
              වර්තමානයේ බොහෝ දෙමාපියන් මිල මුදල් පසු පස හඹා යන බැවින් තම දරුවා බලා ගැනීමට මිත්තනියට හෝ මෙහෙකාරියට පවරය්. නමුත් ඔවුන්ගෙන් තම දරුවාට ආදරය ,රැකවරණය නොමදව ලැබෙනවාද යන්න පිළිබඳ ව සොයා බැලිය යුතු කරුණකි.දරුවාගේ මොළය වර්ධනයට අවශ්‍යය පෝෂණයත් ,ආදරයත් ලැබීම මෙහිලා වැදගත් වේ.
                        දෙමාපියන්ගේ නොසැලකිලිමත් ස්වභාවය නිසා ඇතැම් දරුවන්ගේ ජීවිත කුඩා කාලයේදී ම කඩා වැටීමට ලක් වේ.එසේත් ,නොමැතිනම් ඔවුන්ට තම ජීවිතය පවා අහිමි වේ.එනම් ඒ  බිය වැද්දවීම්, ලිංගික හිංසනය, තරවටු කිරීම ,මෙහෙකාර සේවයේ යෙදවීම් වැනි දේ හරහාය .මෙයට උදාහරණ  පසු ගිය කාලයේ ලංකාව තුල ද දැකගත හැකි විය.සේයා සදෙව්මි ඝාතනය වැනි ඝාතනයන් වාර්තා වීම ගත හැකිය.මෙයට ප්‍රදානතම සාධකය වී ඇත්තේ දෙමාපියන් දරුවන් පිළිබඳ ව දක්වන නොසැලකිලිමත්බාවය ය්.
                            මේ නිසා දරුවන්ට විය හැකි අනතුරුදායක තත්ත්වයන්ගෙන්  ඔවුන් මුදවා ඔවුන් පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කිරීම දෙමාපියන්ගේ වගකීම වේ.නිවස දරුවාගේ සොදුරුතම අත්දැකීම් ලබන ස්ථානයක් බවට පත් කිරීමට දෙමාපියන් ,වැඩිහිටියන් ක්‍රියා කල යුතුය.දරුවා යනු සමාජයේ කුඩා කොටසක් ලෙස නොසලකා දරුවා නිරතුරුව ම අගය කල යුතුය .එනම් දරුවන් රැක ගැනීම ජාතියේම ප්‍රධාන  වගකීමක් සේ සලකා ඔවුන්ට අවශ්‍යය ආදරය ,රැකවරණය ලබා දීමට ජාතියක් වශයෙන් පෙල ගැසිය යුතුය .









ජනශ්‍රැතිය තුළින් මතු වන අපේකම

                                         ජනශ්‍රැතිය තරම්  මානවයාගේ හර්ද  ස්පන්දනට සමීප වූ වෙනත් මාධ්‍යක් නොමැති තරම්ය .මිනිසාගේ සන්නිවේදන ශක...